Menu × About

Her poems

1. Cat. Name 2. Another Name 3. Another Name 4. Famous translations 5. London කවි Her music Her Paintings Phylantrophy Contact Her facebook Instagram

Log Out


අනේ කාලේ...!
**************
විලාසිතා මේ නවතම
විලාසිතා...
දුටුවම මේවා බෑ නෙව
නොකර කතා ...
ලියන් සුරලියන් වෙනුවට
වෙන්නෙ ඉතා...
සැහැල්ලුවට ලක්වෙන එක,
හරිම කැතා...

ඇඳුමක් සිරුරට ගැලපෙන
ලෙසින් මසා...
ගත හැක, හැඩ වැඩ පෙනුමට
එය සකසා...
අරමුණ වන්නේ, ගැන්මනෙ
විලිය වසා...
නිසි ලෙස සැරසුනු කල නැහැ
නෙවද දොසා...

නොරටින් මෙරටට එන හැම
දේ කරට...
හොඳා කියා වැලඳගන්න
මේ අයට...
පහදා නම් දෙන්නට හැකි
දෝ අපට...
මදයෙන් යොබ්බන, පිරිලා
නේ සැපට...

දෙමාපියන්ටත් බැහැ
නෙව දරුවන්ට...
හොඳින් යමක් තේරුම්
කරවා දෙන්ට ...
හිනා වෙමින් "කෝපි කාලෙ
වැඩ ඔන්ට..,
අපිට බැහැ"යි පවසයි
ගැලවී යන්ට...



සියයට දහයේ වට්ටම...!
**********************
නොරටක මුත් මේ සිද්ධිය යුතුකම වෙයි අගයන්නට...
කවුරු සොයාගත්ත වුනත් නියම දෙයකි කරවන්නට...
බොජුන් හලක අත්හදලා බලල තියේ දැකගන්නට...
දුරකතනය නැතුවම බැරි අය හට බැහැ දිරවන්නට...

පවුල් පිටිං ආපුවාම අය මෙතැනට, කෑම කන්ට...
හැම දෙනාම තම තමන්ගෙ දුරකතනය බහා ලන්ට...
බඳුනක් ඇත, මේසය මත කැමතිව එය කරන්නන්ට...
'සියයට දහයක් අඩුවට' කෑ⁣ම ලැබෙයි සතුටු වන්ට...

දුරකතනෙට ඇබ්බැහිවූ දරුවන් ඇති මවුපියන්ට...
මෙතැන හරිම ජනප්ප්‍රියයි, සාක්කුවට පහසුවන්ට...
මෙහි දැක්වෙන පින්තූරය පහදනවා හිතටයන්ට...
පියා ප්‍රීතියෙන්! දරුවන්ගේ දුකනම් ඇතපෙනෙන්ට...!

අහර බුදින විටදි පවා බැරිනම් ඇස ඉවතගන්ට...
දුරකතනෙං; පවුලක සමගිය හැකිවෙද රැකමගන්ට...
ඉඳල හිටල පිටරටකින් හොඳම දෙයක් ඉගෙනගන්ට...
හැකිනම් අප ගරු කළයුතු එවන් දෙයට, සිතටගන්ට...
කෑම් බීම් ස්මාට් ෆෝන් ඔය කොයිකත් සිත් පිනන්ට...

දස්ස නමුත් ඇබ්බැහිකම් අමාරුවේ
අප හෙලන්ට..,
මුල් වෙන බව දැනගෙන වැඩ කළවිට
සැනසුම ලබන්ට..,
ඉන් හැකිවෙයි, එය වගකීමයි කියනෙමි මව්පියන්ට...



බර එසවීම...!
************
දැං රට යන හැටි දුටුවම ඔය
උසුලන බර මිනිසුන්...
මං හිතන්නෙ හරි පුදුමයි, අපි
උන්නට වී සන්සුන්...
දං ගෙඩියට බෙල්ල දුන්න අය
වගෙයිලු උන් මොලසුන්...
කං කෙඳිරියකුත් ඇහෙනව,
සිතුවත් ඒවා හරසුන්...

අපට ලැබුණ කිරිවේලත් නැවතිල
ගියෙ නොමැතිව පිටි...
සැපට හැදුනෙ බබ්බු එක්ක,
එයාලටත් කිරි නැති හැටි...
පොතට පතට යොමු වන්නට ,
හිතක් නැතිව, කයි දත්මිටි...
දුකට හේතු කතා වුනා, ඔලු
ගෙඩිවල තියේලු මැටි...

වෙනද අපිත් ඔසවනවා තරඟෙට
ඩම්බෙල් එහෙමත්...
මනද කයද එමඟින් වෙනවලුනේ
සුවපත් කෙරුමත්...
උණද මන්ද කවුරුත් නෑ , හරි
පාලුයි, මේ ඉඳුමත්...
පනද එපා වෙනව ඉතිං, ඒත්
පව්ලු එය නැහුමත්...



කැපචිනෝලු...!
**************
අනේ මන්ද මදැයි ආව කෝපි
එකක රස බලන්න...
ගුණේ නොදත් අයගෙ විහිළු, හොඳද මෙහෙම දේ කරන්න...
⁣සෙනේ සිතිං බලමින් මා හිටියෙ පොතක වුන, පෙනෙන්න...
මනේ ඇඳිල හිටපු කෙනාවයි, දවසක මට බඳින්න...
"ඉන්න ටිකක්" කියා හිනා වෙලා ගියා, වේටර මට...

මෙන්න මෙයා අරන් එනව කෝපි එකක් කෝප්පෙකට...
දෙන්න හිතුනෙ අනෙ ඇත්තට රිවට් වෙලා යන්නට කට...
ඔන්න බලාගන්න ඇයිද තරහ
ගියේ කියා හොඳට...



කුසගිනි නිවන්නයි...!
*******************
උහුලං ඉන්න බැහැ බඩගිනි තදයි ඉතා...
අහුලං ආවෙ විස්කෝතුව කන්න
හිතා...
ඉහිලුං නැත්තෙ බනිනා කොට කියා සතා...
හිවලුංටවත් කියනවදෝ එහෙම
කතා...

ලස්සන රටක් කැත වෙනවලු අප හින්දා...
ගස්සන ගමන් කරනව නෙව නව නින්දා...
වස්සනවා සල්ලි ඇඳුමට මන
බන්දා...
දස්සන මිසක් හිත් පිත් නැතිවද
මන්දා...

පෙරපිං කරල නැතිකමටලු මේම වුනේ...
තරමිං දුන්න, අනුසස් වැඩි වෙයිලු දනේ...
යහමිං දෙන්න හිතුවත් කෝ සල්ලි අනේ...
කිරමිං නිදි , හිතට ගත්තා ඇහුන බණේ...



පෙර පව් ගෙවමින්...!
*******************
ගන්න මේක ඔබ ඉන්නේ කුස
ගින්නේ බව පෙනෙනව...
ඔන්න ඉතිං ලැජ්ජ වෙලා
කුමකටදෝ, මට ⁣හිතෙනව...
ඉන්න ටිකේ සහයෝගෙන්
ඉඳිමු කියා හිත කියනව...
කන්න අනේ අපි කෑවා,
රසයි මේව කා බලනව...

අද කාලේ මනුසත්වයො
අපට වඩා හරි පහලයි...
හද උණුවන්නේ නැතිලුනෙ,
කියන්නෙ මේ මට ඇහිලයි...
හොඳ නරකක් නො⁣දැන, යන්න දඟලන්නේ ඔය ඉහළයි...
විඳවන හැටි දැන ගන්නේ
අනේ ඉතිං උන් නැහිලයි...

මම පුතාට කියල දෙනව අපි
තිරිසන් වුනෙ කොහොමද...
නම හින්දම පින් කියලා පසු
පස ගියෙ හරි දහමද...
හම යන වැඩ කළ පාපය,
පැන පැන ගොස් එය ගෙවුමද...
නිම වන්නේ කවදාදෝ නොදනිම්
තව, මේ කරුමද...



රටක ජීවනාලිය වන ලිය...!
*************************
මුලින්ම මිනිසා මැවු දෙවියන්
ඊලඟට...
බලෙන්ම ඉල ඇටයක් ඔහුගෙන්
සීරුවට...
ඇරන්ම මැවුවලු ගැහැණිය හරි ලස්සනට...
කෙලින්ම හිත ඇදෙන පරිද්දෙන්
ඒ රුවට...

දැරියක්, තරුණියක් වෙලා කල් ගත වූ පසු...
බිරියක් වී යයි, අරගෙන දෑවැදි
රන් මසු ...
විරියක් වෙනවා සැමියට සැමතින් රස මුසු ...
හරියක් එපමණ කෙරුවත් නෑ කිසි කසු කුසු...

සමහර විට කරනව ඇති හොඳ රැකියාවක්...
අතහැර දැමුමට වනවා ලොකු
හැකියාවක්...
දරුබර ගැන කිසිදා නැත අඬ ඇඬියාවක්...
දිනකර මෙන් ගෙදරට කත හරි සිරියාවක්...

දරුවන් වෙනුවෙන්මයි ඒ හැම
කැප කෙරුමක්...
තරුවන් බබලන කල උන්,
ඇයහට සතුටක්...
විරුවන් කරවන්නට අනෙ වෙහෙසෙන තරමක්...
මරුවන් වැනි පිරිමින්හට
නම් කත ගොදුරක්...

විවා කරල දුන්නත් දරුවන්,
සැනසිල්ලක්..,
නිවාඩුවක්, ලැබුමට ආවත්
සිතුවිල්ලක්...
දිවා රැයෙත් මුණුබුරු මිණිබිරි
නැලවිල්ලක්...
හොවා ඇකේ, කෙරුමත් තරමක
විඳවිල්ලක් ...

ගෙදර බුදුන් විරුදාවලියෙන්
පුද ලබනා...
අදරණීය වියපත් මව සෙනෙහස සොයනා...
අජර අමර නිවනට ඇය දැන් පින් පුරනා...
නොමරනු සිත කිසිදා එය වැඩකිය නොමනා...

කාන්තාවො වෙනුවෙන් දිනයක් වෙන් කරලා...
දාන් අදී ලොව හැම තැන ඇය
ගැන දෙසලා...
පාන් කියන්ටත් බැරි අය
එදිනට දිනලා...
කේන්ති යන්නේ දුටුවම
විගඩම් දැකලා...

කතගැන පවසන්නට එක
දවසක් ඇද්ද....
සමතැන දියයුතු කියමින්
කරනා සද්ද...
අත වනනව නැති කරදර
ඇති කර යුද්ද...
නිසිතැන දී සැලකීමයි
කළයුතු ,නැද්ද...



කලාවේ විස්කම්...!
****************
⁣පෙනෙන දසුන හරි මනරම් ,
කලා සිතක මහිමෙකී...
සිටින දැරිවි මෙහි, ඇඳ ඇති සිතුවමකිය! අරුමෙකී...
තිබුණ එසරු මල් ගොමුවට
ගලපන්නට සිතු මෙකී...
වටින සිත්තරා කවුදෝ
දැකගන්නට පැතුමෙකී...

නලාව පිඹිනා කල නයි
නටති, එයද සතුටකී...
කලාව මහ පුදුම දෙයකි,
සනසන්නේ අනෙකකී...
වෙලාව හොඳ නම් එතුලින්
ලබන්නේම දියුණකී...
තුලාව සමබර වන්නට
පිනුත් ඇවසි කරුණකී...



අලි මිනිස් ගැටුම් අතරේ...!
***********************
ලොවක සිරිය යනු මොනවට විදහා
පානා මෙදසුන ...
එවක බුදුන් දවස මතක් කරදෙන්නට හොඳ නිදසුන...
පවකට ගිඦිදුන්වූ මුත් ඇසුරින්, ලඟ ඇති සෙනසුන...
නැවක තරම් පින් රැස්වෙයි, උනගේ හදවතෙ පුදසුන...

සතා නමුත් දැකුමෙන් යහපත්වූ
දේවල් නිතරම...
ඉතා හොඳින් වටහාගෙන හැසිරෙනවා
එය අනුවම ...
පතා ගේන හොඳ නරකත් සතු වෙනවා
ඉඳ හිටකම...
පුතා වුනත් දෙව්දත්ලා හමුවන කල
අප අතරම...

අලි කරදර ඇතිවෙනවා කලක සිටන් යම් ගම්වල...
පිලියම් ඒවට ඉල්ලා ගම්මු සරයි
තැන් තැන්වල...
දිලිඳු නිසාදෝ වැසියන් ඒව වැටෙන්-
නැහැ කන්වල...
පිලිබඳ ඒ ගැන වගකිව යුත්තන්ගේ,
මොල සුන් කල...

පරිසර යත් බලපානව මනසෙ උසස් පහත් කමට...
වරිගය එක වුනත් සතුන් පහදල ඇත එයත් යසට...
හරියට අර ගිරවු දෙදෙන හැදුන තැනුත් අනුව උනට...
කිරියාවත් වෙනස් වුනයි කුඩා කලදි කියුවෙ අපට...
කරදරයක් නොවන කලට සතා

ඉඳී උගෙ පාඩුවෙ...
සිරකර වන්නට හැදුවොත් බලනට වෙයි රස, වාඩුවෙ...
තිරසර පිලිවෙතක් ඇවැසි මුත්, තව නැහැ අවනාඩුවෙ...
අහවරයක් නම් දකින්ට, කියන
පැත්තෙ කඳුකාඩුවෙ...



සංවර සතුන්...!
**************
හිරි ඔතප් ගැන නොදන්නා
මේ කාලෙ ඉන්නා සමහරූ...
සැරි සරන්නේ විලි වසං නොව
ඇරං සිරුරම නිරතුරූ...
පිරිමි අයහට එහෙම සිතුවිලි
නැති බවට එයි තොරතුරූ..
බැරි කමක් නැහැ නොවෙද සිතුවොත් වන්න ඇඳුමින් පිවිතුරූ...

වරද පෙන්නා දෙන කලදි එරෙහිව අමෝරාගෙන අවී...
සැර දමන් එන්නේම ගැහැණුන්
කියවලා අනෙ මගෙ කවී...
පරදවන්නට සිතා අදහස් ,
දිගින් දිගටම ඒ ලිවී...
කරදරෙන් බේරෙන්ට සිතමින්
පැතුව ඔවුනට සුබ දිවී...

දැනෙන ලෙසටම තදින් හිතකට,
බැලුවොතින් මෙය ඔය කතුන්...
පෙනෙනවා ඇති, රූපයේ
දැක්වෙන්නෙ සංවර වූ සතුන්...
හිතෙනවා වගෙ රූපගත කරනා
කලදි අපෙ හිතවතුන්...
වැසෙන සේ විලි සිටිය යුතු බව
නියම සංවර බවලතුන්...



අඳබව නැතිකළ හාස්කම..!
*****************************
කිව යුතු එක්දෙයකි මුලින්,
සිතන්නෙමි මෙමා...
මුව පොත තුල දුටුව දෙයින්
සිනහවී තමා...
පවසන්නට කවියෙන්, සිත
ගත්තෙ මගෙ නමා...
අවසන තෙක් කියවා බලනුව
ඉතින් සැමා...

සුදු සැරයටි රැගෙන යන්නෙ
අඳවූවෝ නෙත්...
හුදු කරුණකි එය නම් අප
හැම කවුරුත් දත්...
වෙදුනට හැකි වෙනවා සුව
කරනට, එනමුත්...
ඉඳුරා පටහැනි මෙපුවත
හස රසයෙන් යුත්...

ඉඳල හිටල විශ්මකර්ම
දේ සිදුවෙනවා...
අහල නැද්ද ගොළු අය ඔය
කතාකරනවා...
විකල අංග කොර උදවිය
ඇවිදං යනවා...
යැදල දෙවියො, හාස්කමින්
ඉටුකර දෙනවා.

මෙහි පෙනෙනා දසුනින් එය
ඔප්පු කෙරෙනවා...
එහි අඳ පුද්ගලයට හොඳ
පෙනුම ලැබෙනවා...
මිහි කත නලවන යුවතියො
දෙසම බලනවා...
ඉහිලුම් නැති සිනහව අප
සැමට බෙදනවා...



අපූරු යාලුවෝ..!
***************
ඉන්නව වාගේ අරයා එලියේ වත්තේ....
දැන් නම් නෑ නේදෝ කවුරුත් ඒ පැත්තේ...
යන්නට ඇති නෝනල ගමනක් අද නැත්තේ...
පැන්නට කම් නැද්ද නැගී ඔය කර මත්තේ...

කර නං , දෙන්නට බැරුවැයි, එය නෙව කාරී...
සැරටයි ඉන්නේ , කියනා ඒ පොමනේරී....
කරකාරෙට ගත්තොත් ඇය කරගෙන බාරී ...
ජරමර මැද ඉන්නට වෙයි කරමිං ගෝරී....

ඒව කොහෙද මාත් එක්ක, දැන් මා පනිමී...
ඈව රවටගන්නා හැටි හොඳහැටි දනිමී...
කෑව කලට ඇම, ඇය කරකාරෙට ගනිමී ...
ආව කලට රැවටී, පැන යන්නට නොදෙමී...



දහමින් බිඳක්...!
***************
මැදින් පෝදින බැවින් අද මා ලියන්නෙමි බෝ පව් ගැන...
බෙදන් නට සිතුවේ බිඳක් 'නිමි' ජාතකෙන් ඒ තතු ගෙන...
දකින්නට ලැබුණේ අහම්බෙනි
කරන පවු අප සැම දින...
ඉදින් මෙලෙසින් ලියන වග නම්
ඒව කෙලෙසද පල දෙන...

දුබල දන හට හිංස කරනුන් වැටි නිරේ, 'වේ තරණි'නම්...
ප්‍රබල ලෙස ලෝදියෙන් බැටකයි කැකෑරෙන, තුල කල්දෙරම්...
නිමල බමුණන් හටම නින්දා කරන්නොත් පා මසුරුකම්...
තුමුල දුක් වේදනා විඳවයි පහද දෙන්නට බැරිතරම්...

සැමට පොදුවු දේ අනිසි ලෙස
බුක්ති විඳිනාවුන් ලොවේ...
සැපට සිටියත් මරණයෙන් පසු
ගිණි ගොඩේ නිරයේ දැවේ...
කපට කම් කර අහර ආදිය බාල කර විකුණන පවේ...
මුවට ගන්නට පිපාසෙට දිය පොදක් නොලබා උන් තැවේ...

අනුන් සතු දේ සොරාගෙන සැප විඳින අය නිරයට යන..,
බැවින් එහිදී වෙනව ඉවසා ඉන්ට උල් කටු ඇනෙමින...
සතුන් මස් කර විකුණනා අය නිරේ විඳවයි එලෙසින...
එයින් ගැලවීමක් නොවේ බෝ කල්ම ඉන්නේ දුකකින...

දෑත දෙපයද කපා හිංසා දෙවන සතහට බොහො දුකක්...
ඈත නොදකින නිසා ඒ අය පැසෙනවා වී නිරි සතෙක්...
පාත-ලඟ, නොව ගවු ගණන් දුර විහිදෙනා ගඳ ඇති වලක්...
මෑත කදි ගොඩ ඒම බොරු, අප නොකළ යුතුමයි ඒ පවක්...

ලාබ ලැබුමට අයුතුලෙස වෙලඳන් කරන්නා ගොස් නිරේ...
ලෝබ වූ පව ගෙවන්නේ කොකු වලින් එල්ලී, බැඳි කරේ...
ශෝබ මානවු පර අඹුන් වෙත
යන්නවුන් ඒ නිරතුරේ...
ඒ බ යංකර අපා ගතවී, පව ගෙවයි, හිස් පපුතුරේ...

මුලාවේ තමනුත් වැටීලා, අනුන් වත් එලෙසට නමා...
නලාවේ හඬ පතුරමින් දන ඇදී එන්නට කර යොමා....
තුලාවේ බර පාපෙටයි ; කිසි කලෙත් නෑ ඒකට සමා...
වෙලාවේ වරදක්, වුනත් උන් යන්නෙ නිරයට, දුක තමා...

'ජීවිත ය මරණයද පුනරුත්පත්ති' නම් ලද ඒ පොතේ...
සීමිත වු කොටසක්ය ගෙනහැර පෑවෙ සිතෙනව දැන් ඇතේ...
මීවිත ක් වන් දහම බෙදලා ලැබුණ පින් මගෙ පින් කෙතේ...
වීබැතක් ලෙස සැමට පවරමි,
ගනු නොගනු, එය ඔබ අතේ...



පින්වත් මවක් හා දුවක්...!
**********************
වියපත් තම මව්තුමියට
සලකන මේ දියණි උතුම්...
යහපත් ගති ඇති වන්නේ
අනුකූලව ඇගේ සිතුම්...
ඇය පත් කෙරෙනව නිවනට
කෙටිම මගින්, මේ පැවතුම්...
සියපත් කොහොමත් පිපෙන්නෙ
බුදු පුදයට, පතා පැතුම්...

අද කාලේ බොහෝ දරුවො
මා පියො යවනව මඩමට...
හද කම්පා වන සිද්ධිම නිතර
ඇසෙයි අප සවනට...
වද විඳ හැදුවේ කුමටද,
නොසිතෙනවද ඒ හදකට...
මෙදසුන හොඳ ආදුරුසෙකි
එලෙස කරන එදරුවනට...



මොහොතක පමාව...!
********************
එක් මොහොතක් ඇති නොසොයා නොබලා සිටියොත් දරුවන්...
මක් කරනවදෝ කියලා; ගෙනයා හැක උන් මරුවන්...
යක් පැටවුන් වගෙ පෙනුනත් අනාගතයෙ වැඩ කරුවන්...
දක්වයි ඒ සහජ කුසලතා, වෙයි දවසක විරුවන් ...

වටින කියන නොයෙකුත් දෑ
අසුවන මානේ තැබුවම...
තුටින අතට අරගන්නේ, කුකුසක් හද තුල ඇතිවම...
මිටින ගිලිහුනොත් කරනව හිතූ දෙයක් බිය නැතිවම...
කටින විනාසය එමඟින්
බරපතලයි මෙය බැලුවම...

කළ දේ ඒ සුරතල් දරුවා,
දකිනව ඔහුගෙ පියා...
එලවා සිහි බලන් සිටී නාන
ගමන් "හපොයි" කියා...
කලකින් තම බිරිය දරුව
බාර දීල ගමේ ගියා...
ගෙල වැලදා ගන්න වෙයිද
ආපහු ආවාම එයා...



වසත් සමයෙ මුල ලියැවුන පැදි!
*****************************
දහසක් ස්වරයන් එකට වැයෙන සේ මිහිරි හඬක් මුසුවිය මා
සවනට ...
සුවසේ රුක්ගොමුවක් මැද සිටියදි සොබාව අසිරිය මැව් රස
විඳිනට...

චමත්කාර වූ දසුනින් මත්වී මනෝරම්‍ය සිතිවිලි එන අතරම...
සමුදායක් දෝමනස්ස හැඟුමන්, මනස පෙලන්නට විය ඒ සමඟම...
මිනිසා හට සාධාරණ අයුරින් සොබාදහම මැවිලා ඇති අරුමය...
දුටු විට හැඟුනේ කිමෙක්ද මිනිසා තමාම වෙනුවෙන් කර ඇති
කරුමය...

කොල පැහැ වියනක කහ සහ නිල්වන් පොකුරු ලෙස පිපී ඇති හැම මලක්ම...
අගයනවා ඇති ගන්නා හුස්මක් පාසා, එය නම් වේ මට පසක්ම ...
අවට කෙලිදෙලෙන් එහෙ මෙහෙ පනිනා සියොතුන්ගේ සිතිවිලි මා
නොදනිම්...
ඉරියව්වක් පාසා පෙන්වූයේ
තුටින්ම සිටිනා බවකිය මටනම්...

අහසට විහිදෙන අවානක් ලෙසින්මයි දලුලන තුරුලිය දිස් වන්නේ...
සුලඟේ පහසින් සැනහෙන්නාසේ, ප්‍රීතිය එතැනයි මට
වැටහෙන්නේ...

සොබාදමේ අසිරිය මට හැඟුනේ සුරලොව සිට මෙහි ආවක් වැන්නේ...
අහෝ මෙමිනිසා කිමෙක්ද කර ඇත්තේ සිතමිනි මා හද වැලපෙන්නේ...
දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා .
(ලොව සුපතල මහා කවි විලියම් වර්ඩ්ස් වර්ත් විසින් රචිත
LINES WRITTEN IN EARLY SPRING
පැදිපෙලේ මා විසින් කළ පරිවර්තනයකි. ඔබේ පහසුව තකා
මුල් කෘතිය පහතින් දැක්වේ.)

Lines Written in Early Spring
**************************
BY WILLIAM WORDSWORTH
I heard a thousand blended notes,
While in a grove I sate reclined,
In that sweet mood when pleasant thoughts
Bring sad thoughts to the mind.

To her fair works did Nature link
The human soul that through me ran;
And much it grieved my heart to think
What man has made of man.

Through primrose tufts, in that green bower,
The periwinkle trailed its wreaths;
And ’tis my faith that every flower
Enjoys the air it breathes.

The birds around me hopped and played,
Their thoughts I cannot measure:—
But the least motion which they made
It seemed a thrill of pleasure.

The budding twigs spread out their fan,
To catch the breezy air;
And I must think, do all I can,
That there was pleasure there.

If this belief from heaven be sent,
If such be Nature’s holy plan,
Have I not reason to lament
What man has made of man?



The thief is out...!
******************
The first wife :
My heart came asking for those days...
Swear mother, I was the only one who told love...
Holla holla paired love in the necklace...
Caught the rhythm of your secret mind today...

Do you recognize who this is...
I know, just said it now.
Isn't it true...
Eating family with her
Will there be no sadness...
What happens is to eat poison for me
Did you hear that...

The second wife :
That's what I was told too
That's what he is...
Cheating like that in the nose
We women, you...
Even if you say you don't get sad.
Saying "sorry"...
Let's find a good punishment to someone..



හැදූ මවට පිදූ සෙනෙහස...!
*************************
අසල්වැසි රටේ සිදුවුන අපූරු
සිද්ධියකි මේක...
විසල් එළදෙනෙක් මිලදී ගත්තලු
එක් අයකු, දාක...
පසල් දනව්වකද මන්ද ⁣⁣, ඉන්පසු
දිනපතා, රෑක..
. නිසල් බවත් බින්දලු බුරමින්
සුනඛයො අවට නේක...

අයට අවට,හිරිහැරයකි බල්ලන්ගේ
තදින් බිරුම...
රැයට ගමට එනවා යයි සිතලා අර
දිවියො නරුම..
බියට පත්ව අපහසුවෙන් කරගෙන
බරපැනත් දැරුම...
එයට හේතු සෙව්මට කළෙ කැමර
එහෙම සවිම කෙරුම...

පසුදින බැලුවම කැමරා, හේතුව
දැන ගන්න ලැබිණි...
එළදෙන ළඟටම වීලා සිටියේ
දිවියෙක්ලු, පැමිණි...
ලෙවකන හැටි සෙනෙහසකින්
සීසිටීවියේම තිබිණි...
මෙය මොන පුදුමයක්ද කියලා
එය දුටු හැමට සිතිනි...

වහම ගිහින් විපරම් කෙරුවලු
එළදෙන ගත්ත තැනිං...
පුදුම කතාවකි කියලා ඇත්තෙ
එතන සැවොම ඉතිං...
මවම වෙලා අතරමංවු දිවි
පැටවෙකු ලඟට වෙමිං...
දුකම හිතෙනසේ දුන්නලු කිරි,
පැටියට කුලුණු සිතිං...

එදා පටන් එගම වැසියො හට
කරදරයක් නොකරම...
හදා ගත්ත මව ලඟ අදරින්
හිටියලු දිවි පැටියම...
සදා පැටව ලෙස නොමවී, වැඩිල
ගතින් වී ලොකුවම...
මෙදා තරුණ ගැටයකු සේ තෝරා
ගත්තේ කැලයම...

කලුවර වැටුනම 'දිවි පුතු' එනවලු
හැදු මව දකින්න...
ඉවකර ගෙන එලෙස ආවෙ ඇගෙ
නව නිවහන බලන්න...
ගෙනහැරපෑමට සිතුවේ සතාගෙ
මුත් ගුණ කියන්න...
මණහර පුවතකි මේ නම් අපෙ
දරුවන්ටත් හිතන්න..



ඇයි කළු නරක...?
****************
කලුවන් කලු රුවයි උපතින්
ලද මූණ...
දිලුනේ සැබෑ සුන්දර බව
නෙව පේන...
බලු පොරයක් මවන්නේ ලොව
රවටාන...
මලු පුරවාගන්න අප සුදු
කරවාන...

නලු, නිලි ගෙනැත් අන්දාලා
ඔය ගාන...
කලු හම සුදු කරන ක්‍රීමුත් ⁣
පෙන්වාන...
පලු ලප මැකෙනවා කියමින්
ඇද බාන...
බොලු බේගල් කරුවො නිරයට යන්නෝන...



කර්මය...!
*********
දුටුවම යමෙකුගෙ යහපත සිතට එනවදෝ තරහක්...
පටුවම සිතලා ඒ ගැන වෙනවද ඔබෙ වත කොරහක්...
කැටුවම යන රුදු සිතිවිලි වෙනවා ලුනෙ රස අහරක්...
ඉටුවම මරුගේ අදහස්, විඳවයි
ලැබ මරු පහරක්...

පතුරු යව යවා නැති තැන, හදමින් පද බෙදන අතර...
සතුරු සිතින් අනුන් පෙලන කල සිත තුටු වුනත් නිතර...
මිතුරු වෙසින් උන්නත් ඒ කරන පවට, අපා සතර...
කතුරු මුවත් කරනවාලු කපන්න
දිව, හතට විතර...

වට්ටන්නට හදන කලදි දියුණට යන තම සගයා..,
දිට්ටදම්ම කර්ම ලෙසින් පසු පස එන බව 'දඟයා'...
කට්ට කන්ට වන තෙක් වටහාගන්නට බැරි වගයා..,
'දුට්ටකමට වන දඬුවම' සිතුවොත් එහි ඇත අගයා...



නිවසේ තනිවන දරුවන්...!
************************
දෙමාපියන් වැඩට යද්දි, දරුවො ගෙදර තනි වෙනවා...
ලමා සිතට කාන්සියක් දැනුනම සෝකය එනවා...
නිමා නොවන වැඩ හින්දා මව්පියො එය නොදකිනවා...
අමාරුවෙන් මුදල් සොයන්නට නිතරම පෙළඹෙනවා...

යමක් කමක් ඇති අය,සනසන්නට ෆෝනද දෙනවා...
නිමක් නැතිව එදෙස බලා ඉන්නට උන් හුරුවෙනවා...
කුමක් කරනවද දරුවා සෙවුමට අමතකවනවා...
නමක් ගමක් නොදත්තවුන්ගේ ඇසුරට හිතයනවා...

අද කාලේ රටේ ලොවේ වන
දේවල් දුක් දෙනවා...
නිදහස ලත් ළදරු මනස ටික
ටික කුරුවල්වෙනවා...
පදමට අවනත කරගත්තෝ
නරකට පොලඹනවා...
වදයක් වනවිට දරුවා, පෙරහැර අවසන් වනවා...

ඉගෙන ගන්න පිහිටට ආ
ෆෝනය තහනම් වනවා...
නොදුන කලට නැවතත් එය මුරණ්ඩු බව රජයනවා...
නැගෙන කලට ආවේගය දඬුවමකට සිත යනවා...
සිතෙන පරිදි දිවි නහගෙන
සැම හඬවා වැනසෙනවා...



කොහොමට ඉන්න ඇද්ද...!
*************************
කව්ද දන්නෙ මේ අය පෙර බවවල
හෙම බොහොම යසට...
සව්දිය පුර පුර හිටියද සක්විති
රජවරුම ලෙසට...
නැව්ද අහස් යන්තරවල යන්නත්
ඇති දෙසින් දෙසට...
පව්ද නොසිත සතුන් මරාගෙන
කන්නැති හරිම රසට...

සිතල මතල වැසියගෙ යහපතට
යමක් කළේ නැද්ද...
පතල වන්න නම පමණක් වැඩ
කටයුතු කළා වද්ද...
කෙතල වගේ කළුව දැකල
අනුන්ට ඇදකරල ඇද්ද...
නොතල ඉම්මු කාවත් අපි, දන්නෙ
නැහැනෙ කොහේ යද්ද...

එකෙක්, තමා හිතන විටෙක කැමති
පරිදි ඔහෙ පනින්නෙ...
අනෙක් දෙදෙන යාම් ඊම් හරිම
හෙමින්මයි කරන්නෙ...
නොයෙක් පුරුදු පුහුණු සසර පුරා
රැගෙන සැම සරන්නෙ...
බියක් නැතිව කරන පවුත්
මෙලෙසින්මලු පල දෙවන්නෙ...



වරුවක නිවාඩු...!
****************
හැමදාමත් කංකෙඳිරිය
ලමයි ගැන කියා...
"වැඩක් පලක් කරගන්නට
ඉඩක් නෑ මෙයා..,
ඇඳුමක් වත් අරගන්නට
කෝ ඉතිං ඔයා...
ගෙදරකවත් ඉන්නවාද,
බලන්නට සොයා...
එක දවසක් හිටියෝතිං
බලාගත හැකී...

වටවීලා යක්ෂ පැටව්
නොයන සේ මැකී...
මඩවන හැටි මාව අනේ,
ඔයා හරි ලකී..." !
එසේ කියූ විට නම් මට
හිතුනෙම දුකකී...

"හෙට එහෙනම් හවස් වරුවෙ
නිවාඩු ගන්න...,
ඔයා හිතේ හැටියට ඔය
සාප්පු යන්න...
කියන 'මගේ යක්ෂ පැටව්'
පාඩුවෙ ඉන්න..,
හැටි බලතැකි, ගිහින් වැඩේ
කරගෙන එන්න..." !

කියු ලෙසට දවල් කෑම
ගත්ත සැනින්න ...
ගියා ඇයත් ආසාවෙන්
ශොපිං කරන්න...
දරු පැටවුන් සමඟින් මට
ගෙදර සිටින්න...
ලැබුණ චාන්ස් එක වින්දා
උපරිමයෙන්න...

දන්නව මම නෝන එන්න වෙලා
යනවනේ...
ඒත් ඉතිං පැටවුන් ගැන බැලිය
යුතුමනේ...
ඔන්න අදහසක් ඔලුවට ආව
සැනෙකිනේ...
"මන් නිදියන හැටි අඳින්න, එන්න
ලමයිනේ..,

තෑග්ගකුත් දෙනව ඇඳපු
කෙනාට හොඳට.....
පාට කරන්නත් ඕනේ
නියමෙට හැඩට..." !
ඒක කියල පොරවාගෙන
මම හරි සැපට...
නින්දට වැටුනා කලකින්
ලබමින් සතුට...

ඔන්න ඔහොම තමයි ඉතිං
මොලේ යොදවලා...
යක්ෂ පැටව් කියන දරුවො
හොඳින් රැකබලා..,
ගන්නෙ, එයාලාගෙ සිතුත්
නැතුව රිදවලා...
ඒ අතරෙම සැපත් ලැබුව
මමත් නිදියලා..!



තාම නෑනෙ, තාම නෑනෙ...!
*************************
කෝමේ උන්දැ අදවත් නෑ
වෙලාවට...
කීමේ දී කිව්වෙ වැඩටික
කලාවට...
මාමේ, බලනු, අවුලක් වගෙ
හිතේමට...
සාමේ තියේවිද බැඳලත්,
හැබෑවට...

කීයේ ඉඳන් දෝ සාරිය
ඔතා, වට...
සීයේ තරමෙ කටු ගහගෙන
සැකේ පිට...
ආයේ කියපුදෙං සාරිම
ඇඳීමට...
බෑයේ පොල්, පාර වදිනව
තදේකට...

නැකතත් පනිනවා අත්සන
ගහන්නට...
කවදත් පරක්කුයි බැරි ඇයි, හැදෙන්නට...
විටෙකත් හිතෙනවා අතහැර
දමන්නට...
අදවත් බැරිමනං මා ගැන
හිතන්නට...



නොදැන කෙරෙන පව්...!
**********************
වැවට බැස මසුන් අල්ලන දරු
දෙදෙනා...
සතුට පිරි සිතින් දිගටම එහි
යෙදෙනා...
මසුට නම් මහම කර්මෙකි මරු
පෙනෙනා...
දුකට, කෙලෙස පවසන්නද "අප මැරෙනා"...

මිහිරි ලෙසට දැනුනත් කරනා
පවුකං...
බිහිරිසේම සිටියත් නොසලක
ඔවදං...
පැඟිරි වයසෙ මුත්, ලැබෙනා කල
දඬුවං...
දහිරි දමා බෑ ගැලවෙනු කිසි
කල නං...

සතුට පිණිස අන් අය හට
රිදවීමත්...
පවට අත වැනීමකි , එය
නොදැනීමත්...
කවට කමට මුත් ලොකු අය
ඉඩ දීමත්...
නිවට වැඩකි, පාපෙට බර
කරවීමත්...



විජය ඔබ අමරණීයයි !(එතුමාගේ
35 වන ගුණ සමරුම වෙනුවෙනි)
******************************
නළු කම, ගැයුම් හැකියාවද එක
සේම...
සුලු කොට කිව හැකිද දස්කම් පෑ බෝම...
මුළු හද තුලින් දෙස්පාලකයකු
වීම...
අළු කල හැටි දුකයි , දවනව හද
තාම...

ඔබ තුල තිබූ මානව
හිතවාදිකම...
සැබවින් පුදුම සහගත බව
කියයි සැම...
හෙබවූවත් නොයෙක් නිලතල,
උඩඟුකම...
අබ ඇටයක් තරම නොතිබුණ
කරුණ කිම..

සොඳුරුම චරිතයකි ඔබ අප
හද දින්න...
අඳුරුම ලෙසින් සමු ගත් හැටි සැනෙකින්න...
සිදුරුම වුනත් සිරුරත් වෙඩි
වැස්සෙන්න...
නුදුරුම බවෙක ලැබෙ නිවනින් සැනසෙන්න...



පෙම්වතුන්ව විකිණෙන දින...!
****************************
පෙර කලදී දිනයක් වෙන්කර තිබුණද පෙම් කරන්න?...
තිර ලෙස ආදරය වින්ද අය නොවිනිද, එය සිතන්න...
සිර කර සෙනෙහස සිතතුල
උපරිමයෙන් එය විඳින්න...
මරණය තෙක් එකට ඉන්න විවා වුනේ හරි තුටින්න...

එක් එක් රට වලින් එනව කලින් කලට ෆැෂන් අමුතු...
දක්වා සැලකිලි බෙහෙවින් බාර ගන්නෙ ලෙසින් එමුතු...
ඉක්මනින්ම අමතක කර සිරිත් විරිත්, වෙමින් උමතු...
දුක් වන්නට සලසා ගන්නේ මග කිසිදාක නොපැතු...

"වැලන්ටයින්ස් ඩේ" ද එලෙස දශක
කිහිපයකට පෙරදි..,
වැලඳගත්තු සංකල්පෙකි, මෙහෙට පැමිණි, ලෙසින් වැරදි...
සලකා එය මහ ඉහලින් ගත්තෙ වෙලඳ ප්‍රජා, උරදි...
කලක් ගියේ නෑ වන්නට තරුණ කැලම, යන්ට පැරදි...

නොයෙක් ජාති තෑගි බෝග කඩවල පිරිලා, දකින්න...
අයෙක්ට වෙයි රෝස මලක් පිණිස දහසකුත් ගෙවන්න...
දුකක් වන්නෙ සාද වලදි 'මත් දෑ' ගෙන රස විඳින්න..,
දෙයක් සිදුව ඊට පසුව, වුනාම සිරයේ තපින්න...

තරුණ මනස වෙලඳ ඇමට හසුවන ඔය එක දිනයකි...
කරුණ, දෙමාපියන් එයට ඉඩදී ඉඳුමත් හෙණයකි...
මැරුණ දිනය වැලන්ටයින් සාමි, මෙලෙස අද ඇණයකි...
පිරුණ සෙනේ ඔපවත් වන්නට ඇවැසිම යම් විනයකි...



වැලන්ටයින් සාමී...!
******************
දකින දකින හැම පැත්තම
එක පැහැයෙන් දිලේ...
ගණන ඩබල් වෙලා ඇත්තෙ
සමහර බඩු මිලේ...
තියෙනවාද දැකල ටෙඩියො,
රතු පාටින් බොලේ...
හිතන එකයි හොඳ, කාටද
මේව නගේ මලේ...

"වැලන්ටයින්'ස් ඩේ" කිව්වට
කී දෙනාද අනේ...
අල, මුල ගිය තැන දන්නේ
දුකත් හිතෙන වනේ...
කලයි මේව පහදන්නට
මේක අහනු මැනේ...
වැලන්ටයින් සාමිව ඔය
මරපු දිනය මනේ...

පැරණි රෝම අධිරාජය තුන්වෙනි
ශත වරුසේ...
දෙවෙනි ක්ලෝඩියස් වෙනවලු
එරටේ ඒ දවසේ...
කෙරුණි අණක්, හමුදාවේ අයට
'විවා' බැරිසේ...
තරුණි තරුණයන්ට දුකක්
වුනාලු එය පැවසේ...

එනීතියේ අසාධාරණය
සාමී දුටුවා...
දැනී අදරවතුන්ගෙ දුක ඔහු
'විවාහ' කෙරුවා...
මිනී මරණ සිත අධිරජ තුල
බැසගනු ලැබුවා...
අනීවාරතේ සාමිව ඇමති
ලවා මැරුවා...

ආදරවන්තයන් නිසා සාමී
දිවි දෙනවා...
ගින්දර වූ ඒ කතාව අමතක
වී යනවා...
සුන්දර දිනයක් ලෙස දැන්
දරුවන් සලකනවා...
කෑදර මිනිසුන් මුදලට ඉන්
ඉහගෙන කනවා...

අද සිට හෝ ඒ උත්තමයට
පින් පමුණන්න...
හද බැතියෙන් යමක් කළොත්
නරකද පවසන්න...
නිදහස අනිසිව නොයොදා
අදරින් සැනසෙන්න...
මඳකට සිතුවොත් කවදාවත්
බැහැ වරදින්න...



නියම බොදු පිලිවෙත්...!
**********************
සිවුරක් දරා සිටියත් සිත
තුල ඇත්තේ...
පවුරක් ලෙස පෙනෙන සෙනෙහස
විය යුත්තේ..
කවරක් වුවද, සැනසෙයි පොඩි
නම සත්තේ...
තෙවරක් හිස නමා වැන්දත්
කම් නැත්තේ ...
කුල දරුවකුව දරමින් සිවුරක්,
සිටියත්...
නැලවෙනු රිසිව ඇති නෙව ඒ හද කොහොමත්...
සැලකුම් ලැබුම මේ ලෙස ගෙන දී සතුටත්...
පලදීමකි පිනක් පෙර කලකදි කෙරුවත්...
බුදු හිමි දෙසූ අරිඅට මගෙහිම
යන්නා...
නිදුකින් සසර සයුරින් එතෙරම
වන්නා...
සිදුවිය යුතුම එය බව දැන් වැටහෙන්නා...
ඉඳුරා සිතට ගත හොත් සැම ගොඩයන්නා...



ජාවා දොඩමේ විලාපය...!
***********************
සැපට හැදිලා මෙහෙට ආවේ පෙට්ටිවල මයි ඇසිරිලා ...
අපට හරි සැලකුම්ය ලැබුණේ කෝට්ටේ අය විසිවිලා...
රතට හුරු තැඹිලියක පාටින් දිලුන හින්දා රැවටිලා...
ගතට ගුණ හා කටට රස බව ගියා හැම තැන පැතිරිලා...
රුවැති නෝනල අපව සිඹ සිඹ දුන්නෙ බේබිල කැඳවලා...
ගුණැති විටමින් සී වලින් පිරි පලතුරක් බව පවසලා...
කැමති ලෙස තව සමහරුන් නම් බිව්වෙ අප හැම මිරිකලා...
නොමැති හින්දා ඩොලර, දැන් රටෙ
අපේ මිල දැන් ඔසවලා...
"ආය කවදා දකින්නට නුඹ වේදො"
කියමින් පවසලා...
ගාය ඇති එක් ළඳක් මා ගෙන සුරැකි ලෙසටම සඟවලා...
සාය ඇදලා, එහිම ඉන්නට ඕන බැව් මට අඟවලා...
නාය යන කන්දක් ලෙසින් පිටවුනේ කඩයෙන්, ඉඟසලා...
අහෝ ඉරකිය තිතකි, (!) මාගේ කනෙං අදිනව බල බලා...
සහෝ ඔබටත් අපව දක්නට නොවෙනු ඇත , මා සිහිකලා...
බොහෝ දුකකින් කියමි "ගුඩ් බයි"
දිවියෙ අවසන හඬතලා...
කොහෝ හඬ මැද 'සිහල අවුරුදු'
සමරනුව දැං ඉවසලා...!



නූතන පෙඩිකියෝ...!
*******************
විලාසිතා නැති ලෝකය එකාකාරි බව ඇත්තක්...
කලා සිතැත්තෝ නිතරම ⁣විමසිලිමත් එය සත්තක්...
පලාපුවා අඳින අයට බැනුම් ලැබෙනවා රොත්තක්...
රිලා පාට් දැක්කම නම් හිතෙනව බීලද පෙත්තක්...
ඔය සේරම ⁣සෙල්ලම් හම රැලි වැටෙනා ටිකට සිතා...
වයසට යන්නට පෙර තම සිරුර යාන්තමට ඔතා...
"දෙයකි අගේ බලනු මැනවි !" කියන ලෙසින් සිතා මතා...
කය පෙන්වන අය යනවලු "පායාසේ නිරය" වෙතා...
එයත් ඉතිං අමාරුවෙන් ඉවසන්නට හැකිය අපට...
ගියත් යන්නෙ අර නිරයට එයාලමනෙ සිතං යසට...
මෙයත් දැකපු කල නම් ලියවුනේ මගේ හිතේ දුකට...
අයත් ඉන්නවනෙ කියලා මෙහෙම වැඩත් කරන දැනට...
පාට කරන් දිගට වවන් නිය උල් කර ඇගෙ දෙපයට...
නාටකයක රඟනට මෙන්, අඩි උස පාවහන් කුමට...
ගාට ගාට ඇවිදින හැටි දැකල දුකක්,ආවෙ හිතට...
කාට කියම්දෝ වැරදී පය පැකිලී
වැටුනු කලට...
අනෙක් අයගෙ අවධානෙට බඳුන් වෙන්න විඳින දුකක්...
කෙනෙක් කරනවා දුටුවම අනුගමනය කරන හැඩක්...
දෙනෙක් කීප, කලත් මෝඩ කම් මේ වගෙ, හිතල ටිකක්...
ගොනෙක් නොවී සබාව මැද, ඉන්න හිතා,ගනුව තැතක්...



අවුරුදු සාප්පු සවාරියේ...!
************************
කාලයකට පසුව ශොපිං යෑමට ඇය සිතා...
තාලයකට අඩිය තියා උදෙම්ම යන ලතා...
මාලයකට රත්‍රන් දැං අඩු වෙලාලු
ඉතා...
බාල දුවට හදවනවලු, මගුලට කල් නැතා...
වසර දෙකක් අවුරුදු සමරන්න බැරිවු නිසා...
අසරණවී ගෙටම වෙලා හිටියලු තුට නසා...
තිසරණ සරණින් කෝවිඩ් ගියෙන් දමා ගසා...
කෙසර බවින් මිදෙන්ට හැක සිතයි, වෙලා තොසා...
මෙදා සැරේ බක්මාසේ අවුරුදු සමරන්න...
යොදා මනස සිතනවාලු එන දුක් පරදන්න...
හදා කැවිලි ඉස්සර වගෙ සුවඳත් පතුරන්න...
බෙදා හැමට දෙනවලු ඉන් වසරම සුබවන්න...



කාගෙද ගොන් වස්සා...?
*********************
අනේ හරිම සැපාක්...
සනීපයිනෙ ගොඩාක්...
කවද එයිද ඉඩක්...
මෙහෙම,
ඇලවෙන්නට ටිකාක්...!

කවදාවත් නැහැනේ...
දොර ඇරලා තිබුණේ ...
සැවොම එන්නෙ යන්නෙ....
ඉතිං,
දොරත් වහගෙනමනේ...!

මා කවදත් මඩුවේ...
උම්බෑ මයි දෙඩුවේ...
මෙත් සිත මම වැඩුවෙ...
සැපට
ඉඳුමට මෙම බඩුවේ...!




My 20th poem published in London kavi e magazine, this time in its 2023 April issue. අනවැසි පුරස්න...!
*****************
නෙත යොමුවුනෙ දෙබසකටයි වත පොතෙ එහෙ මෙහෙ යද්දී...
සිත ඇදගත් නිසා සිතුනෙ කවි කෙරුමට ඔහෙ ඉද්දී...
එතරම් රසවත් කතාව , පටන්
ගත්තෙ, ගෙට එද්දී..,
නිතරම එහි යනෙන කෙනෙක්,
දරුවට වදයක් වෙද්දී...

"පුතා අදත් පාඩම් කරනවා වගෙයි එහෙම නේද...
හිතා ඉන්නෙ කවුරු වන්ට, කියලා මට කියනවාද...?"
"ඉතාමත්ම ගැටලු සහගතයි අංකල්, පෙනෙනවාද..,
කතාකරොත් ඒගැන කීදෙනෙකුගෙ සිත් රිදෙනවාද...?"

"ගුරුවරයකු උපයන ඒ වැටුප
සොයා බැලුව කලට...
වරුවයි වැඩ, හැත්තෑ පන්දහක් ලැබෙනවලුනෙ මසට..."

"මරුනෙ පුතා, එහෙනම් හොඳ නෙවද එහෙම වුනොත් ඔබට...
කෙරුවොත් පාඩම් නිසිලෙස ගුරුකම නම් ලැබෙයි යසට..."

"ඉංජිනේරුවෙක් උපයයි ලක්ෂ තිස්හයක් වසරට...
මං වැරදදිද , එයට වැඩිද ? ඇහුනෙ එලෙසමයි මෙමහට..."

"දැං පුතාට හිතෙනවනං වෙන්න හැකිනෙ ඒ විදිහට...
ලංකාවට ඕන උගත්තුයි මට
හිතෙනා හැටියට...!"

"දොස්තර කෙනෙකුට ලැබෙනව ලක්ෂ හැට පහක් වසරට...
විස්තර හෙව්වමයි දුටුවෙ , කියල තිබුණ පත්තරයට...!"
"ඉස්තරම්නෙ ! ඉතිං පුතේ වෙන්න බැරිද, අනෙ ඔබහට...
ලස්සන දිවියක් ගෙවතැකි , පහනක් වෙයි නෙව නිවසට...!"

"උගත් කමක් නැතුවත් කෝටිම දහසක් එක් වසරට...
නොගත්තෙ කවුරුද කියන්න ඇවිදින් දෙස් පාලනයට..?"

දෙඅත් හිසේ රැඳවුනෙ ඇස් ඇරිලාමලු හරි ලොකුවට...
පහත් වුනාලුනෙ අංකල්, සැනෙකින් ළඟ තිබු අසුනට...

"ඒකනෙ මම මුලින් කියුවෙ ගැටලු සහගතයි කියලා...
ඕකනෙ අද රටේ තත්වෙ , කුමටද පාඩම් කරලා...?"

නාකනෙ අද දරුවන්ගෙන් අහන්න පැන, නොම සිතලා...
සෝකනෙ වන්නේ සිත් පිලිතුරු දුන්නම උන් ගොතලා...!



Such a sweet little mother...!
***********************
Baby brother don't cry, mom went to take medicine.. ,
Come find that money is not enough...
There are fruits on the Nelli tree, shall we go to pluck and eat...
We don't have tasty things like jalli to be silent...

If we had a father, we wouldn't have been sad like before...
Comfort won't last forever, it's a sin that he died...
They say they will bring back a lot of karma done before birth...
How much trouble you are, mother give us comfort...

Both of them are blessed to have such a mother...
My eyes get wet when I think of these things...
Do things like this happen when others look at it ...
I will be the second mother to my bag forever...



අවි ගත් ගල් සිත්...!
******************
අවි අත දරා හදවත ගල්
කරමින්න...
සවි දෙන්නේම පසමිතුරන් වනසන්න...
දෙවි පිහිටත් යදින මොවුනුත් සැබවින්න...
පවිටුම පිරිසකිය යුදයට
හිතදුන්න...

නිරයට යන මගෙහි බෝ දුර ගෙවමින්න...
මඳකට ලැබු විරාමෙන් පොත් කියවන්න...
ලැබුනට පිනක් එහි වන් දෙය වටහන්න...
නැතිවට මොලය , පවකට බැහැ පිනදෙන්න...

දැනටත් බලවතෙක් රටකට වැදෙමින්න...
යටහත් වන තෙක්ම මිනිසුන් මරවන්න...
අවටත් යුද බියම පතුරා
නටමින්න...
ලොවටත් හතුරෙකුව ඇත; හිතෙ රජයන්න...

ගහමින් හැමට අසරණයන් පෙලමින්න...
නහමින් රඟන මන සුන් අය නවතන්න...
දහමින් සොබා නිසි දඩුවම්
ලැබදෙන්න...
යහමින් පමා ඇයි, බැහැ මට වටහන්න...



කොහෝ කොහෝ...!
******************
කද බැඳගෙන වෙනද වගේ
ආවත් මම සතුටු සිතිං...
නද දී පවසන්ට ඔබට අවුරුදු
ලඟ එනම බැවිං ...
වද විඳිනා හැටි දුටුවම සැවොම
අනේ නොයෙක් ලෙසිං...
හද සෝකෙන් පිරී ගියා කඳුළු
ගලයි මගේ නෙතිං...

ගිය පාරත් කොරෝනයා නිසා
උන්න නේද දුකිං...
බිය ගෙන දුන්නේ රටටම ගොඩක්
දෙනා මැරී යමිං...
කියලා වත් එන්නට මට බැරිම
වුනේ, හිටියෙ දුකිං ...
ඔය කාටත් තේරෙනවනෙ,
එනිසයි අද ආවෙ ඉතිං...

ඒත් මෙදාපාරත් අනෙ තැන් තැන්වල තෙල් පෝලිං...
බේත් හේත් හරි ගණංලු, මේවා
ඇත්තද ඩාලිං...
ජේත්තුවට හිටපු අයත් කරමිං
හැමටම කෝලිං...
හේත්තුවී තාප්පයට ඉන්නවාලු
වගෙ බේලිං...

තව ටික දවසක් බලලා මමත්
යනව කටත් වහං...
කවදා හෝ සරුවෙයිනේ, ඉන්නෙ කොහොම ඇඬුම් අහං...
අවසන් වුන කලදි ප්‍රස්න, එන්නම්කෝ ගීත ගයං...
නව වසරේ දුක් දුරුවේවා
සැමටම, කියා පතං...



පිරිවැය නැති දානය...!
*********************
සෙනෙහස දයා කරුණා ගුණ එක ඉත්තේ...
මඳහස මුවට නංවන මල් මය,
සත්තේ...
නිදහසකින් යුතුව සරණා හැම පැත්තේ...
උදහස පලවහරිනා විහඟුනි
ඇත්තේ...

සුපුරුදු ලෙසින් කෑමට ඇරයුම
ලබනා...
එපුරුදු මිතුර වසමින් අත මත
සොඳිනා...
නුපුරුදු බවින් තොරවම අහරද
බුදිනා...
නොම රුදු කමට ගෞරවෙ පුදනා ලෙසිනා...

සොබදම් මෑණි තුටුවන තව එක දෙයකී...
අමදම් අනුව තම දිවි ගෙවනා
සෙයකී...
මනුදම් රැකුමකට ගතවෙන අඩු වැයකී...
සරදම් කලොත් එය පසුපස එන ණයකී...



සතුටට රතිඤ්ඤා ...!
********************
තම අත මිට හිඟවූ විට අනුනට
නොම පෙන්නා...
දමලා වෙහෙසක් එය පිරි මැසුමට
අප ගන්නා...
ක්‍රම අතරේ ණයක් වුනත් ගැනුමට
සිදු වෙන්නා...
එම කරුණත් කිසිවෙකු හට නම් නොපවස ඉන්නා...

හේතුව, ණය යනු නයෙකුම බව හැමටම පෙන්නා...
ධාතුව ලේ, රත් කරවයි අපහට
නොමදන්නා...
කෝතුව-විස් , රස මුත් එය මොහොතින්
වැය වෙන්නා...
මාතුව සිහි කරමින් ඉන්පසු දත්
මිටි කන්නා...

එනමුත් සමහරු ලෝකෙට නිතරම
ණය වෙන්නා...
ලැබුමත් එය, උජාරුවට නටමින්
සමරන්නා ...
හිසමුත් එහි මොලයක් නැති බව හැමටම පෙන්නා...
කෙරුමත් මේවා, අප හට සිනහව
කැන්දන්නා...!